Pages

Monday, July 20, 2015

උත්සාහයේ ප්‍රතිපල ලැබීම......




කලින් පෝස්ට් එකේදි අපි එකතු වෙලා කරපු උද්ඝෝෂණය ගැන හදිස්සියෙන් ලියපු නිසාත් ඒ ගැන වැඩි විස්තරයක් කියපු නැති නිසා මේ පෝස්ට් එකෙන් ඒ ගැන කියන්නම්කො….



කුරුණෑගල නුවර මහාමර්ග‍යේ කිලෝමීටර් 3.5ක් පමණ ඉදිරියට යනවිට හමුවන පිලීකඩ හන්දියෙන් ආරම්භ වී වල්පලකන්ද හා ඉඳුල්ගොඩකන්ද ගම්මාන දෙක හරහා කුරුණෑගල රඹුක්කන මහාමාර්ගයේ කටුපිටිය හන්දිය දක්වා කිලෝමීටර් 10ක පමණ දුරක් දිවෙන C ශ්‍රේණියට අයත් වයඹ පළාත් සභාව මගින් නඩත්තු වන දැනට බෙහෙවින්ම අබලන්ව ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා බලධාරීන් දැනුවත් කිරීම තමයි මෙම උද්ඝෝෂණයේ අරමුණ.


මධ්‍යම කදුවැටියේ එක් කෙලවරක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උසම කඳුවැටිය වන හඳුරුක්කන්දේ එක් පසෙක පිහිටා තිබෙන ඉඳුල්ගොඩකන්ද ගම්මානයත් ඒ වටා ඇති අනෙකුත් ගම්මාන සියල්ලමත් ප්‍රධාන මාර්ගය ලෙස භාවිතා කරන්නේ මෙම මාර්ගයයි. දැනට අවුරුදු විස්සක කාලයක් තුල නිසි පරිදි නඩත්තු නොවීම නිසා දැඩි ලෙස අබලන්ව ඇති මාර්ගය දෙවෙනි ලෝක යුධ සමයේ බෝම්බ ප්‍රහාරයන්ට ලක් වූ මාර්ගයක් සිහිකැඳවයි. නිසි කානු පද්දතියකින් තොරව මාර්ගය හරහා නිතරම ජලය ගලා යාම නිසා මාර්ගය තැන තැන තාර ගැලවී කානු හෑරී ගොස් විශාල වලවල් පෑදී තිබීම හේතුවෙන් බස්, ලොරි වැනි ලොකු වාහනයකට හෝ ගමන් කිරීම අපහසු තත්වයකට පත්ව තිබීම නිසා මාර්ගයේ ගමන් ගන්නා ලොකු කුඩා වාහන ඉක්මනින් අබලන් වීම, හදිස්සි ගමනක් යාමට නොහැකි වීම, ගිලන් රථය මගින් හෝ ලෙඩෙකු ගෙන යාමේදි ප්‍රමාද වීම වැනි බොහොමයක් ගැටළු ගෙවීගිය වසර විස්සක කාලය තුල නිරන්තරයෙන් අත්දැකීම මෙම ගම්මාන වල වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.


මාතෘ සායනයක් සහිත ප්‍රාදේශීය රෝහලක්, ජාතික පාසලක්, අවට ගම්මාන දහයකට පමණ සේවය සපයන උප තැපැල් කාර්යාලයක්, ග්‍රාමීය බැංකු කිහිපයක්, දහම් පාසල සහිත ප්‍රධාන විහාරස්ථානයක්, තේ රබර් පොල් වැනි අපනයන බෝග වගාවන් තිබෙන ඉඳුල්ගොඩකන්ද ගම්මානය මගින් අවට ගම්මාන වල ගම්වැසියන් සේවා ලබාගැනීමේදී මෙම අබලන් මාර්ගය නිසා දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමත්, දිනපතා රැකියා වලට නගරයට යන පිරිස මාර්ග අපහසුතාවයෙන් දුක් විඳීමත් වසර විස්සක් පුරාවට මෙම ගම්වැසියන්ට උරුම වූ කරුමයක්ම විය.


මෙම ගෙවී ගිය වසර විස්ස පුරාවට දැනුම් දිය යුතු රාජ්‍ය ආයතන සියල්ලටමත්, දේශපාලන නියෝජිතයින්ටත්, ජනාධිපතිතුමාටත්, මාධ්‍ය ආයතන සියල්ලටත් මේ ගැන ලිඛිතව හා මුණ ගැසීමට ගොස් පැහැදිලි කලත් සෑම විටම ලැබුණේ හිස් පොරොන්දු පමණි. හදලා දෙන්නම් කියනවා මිසක් අඩුම වශයෙන් ගමන් කල හැකි මට්ටමට හෝ මාර්ගය නඩත්තු කිරීමක් වත් සිදු නොවීම නිසා දිනෙන් දින මාර්ගය අබලන් වීම ඉක්මන් විය. වසරකට වතාවක් පමණ වලවල් කිහිපයකට ගල් දමා තාර ටිකක් යොදා "පැච් දැමීම" සිදු කලත් නිරන්තරයෙන් ඇද හැලෙන වර්ෂාව නිසා සතියකින් දෙකකින් පමණ නැවත වලවල් පෑදීම සාමාන්‍ය දෙයක් විය.


තව දුරටත් මෙම පොරොන්දු විශ්වාස කර රැවටීමට නොහැකි වූ තැන කෙසේ හෝ මෙම මාර්ගයේ ඇති දුෂ්කරතා ගැන වගකිවයුත්තන්ගේ ඇස් ඇරීමට නම් ගම්වැසියන් පාරට බැසිය යුතුයි යන අරමුණෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමට සියල්ලෝම එක් විය.


මෙම මාර්ගය භාවිතා කරන ඉඳුල්ගොඩකන්ද, වල්පලකන්ද ඉහල, වල්පලකන්ද පහල, හඳුරුක්කන්ද වත්ත, මොරතැන්න, මොරතැන්න වත්ත, ගෝණාගල, ගෝණාගල්දෙනිය, වේරවැල්ල, ඉඳුල්ගොඩ, කටුපිටිය, කොස්ගොල්ල, උඩුමුල්ල, මානෙල්ඔලුව, මුවන්කන්ද යන ගම්මාන වල විහාරස්ථාන මූලික කර ගනිමින් සියළුම ගම්මාන සමිති හරහා ගම්වැසියන් සියල්ල එක්ව පිහිටුවා ගත් "ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරගැනීම සඳහා වූ ජනතා එකමුතුව" නම් සමිතිය හරහා මෙම උද්ඝෝෂණය සංවිධානය විය.


පසුගිය බදාදා (15) දින කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගය හරස් කර පැය තුන හමාරක් පුරා පැවති උද්ඝෝෂණය නිමාවට පත්වූයේ එතැනට පැමිණි වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ඩබ්ලිව්. එම්. සී. ප්‍රනාන්දු මහතා දුන් පොරොන්දුවත් සමගිනි.


පසුගිය සෙනසුරාදා (18) සිට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීමත් සමග අප විසින් ගත් උත්සාහය මල්පලගැන්වී ඇති බව පසක් වේ. දැනට තාවකාලිකව ගමන් කල හැකි මට්ටමින් ප්‍රතිසංස්කරණය කරන අතරම ඉදිරියේදී මාර්ගය පුළුල් කර කාපට් ඇතිරීම සඳහා මිනුම් කටයුතු දැනට ආරම්භ වී ඇත.


මෙම උත්සාහය සාර්ථක කරගැනීමට සහය දුන් සැමට ස්තුතිය පුද කරන අතරම එදින නුවර මාරගයේ ගමන් කිරීමට නොහැකිව අපහසුවට පත් වූ සියලු දෙනාටම ගම්වැසියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමි.


ප.ලි.

වයඹ පළාත් මහ ඇමති දයාසිරි මහතාට හූ කීමට හේතුව සහ පොලිසිය විසින් එදින ගම්වැසියන් ප්‍රවාහනය කල බස් රථයක් අධිකරණයට ඉදිරිපත් කිරීමත්, සංවිධායක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම ගැනත් වෙනම පෝස්ට් එකකින්...

25 comments:

  1. වැඩේ හරි යන බව දැන ගැනීමත් සතුටක්. ඔහොම කැඩිච්ච පාරක් කාලෙකින් දැක්කේ නෑ කියන්න හදලත් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නිසා නොකියා ඉන්න තීරණය කලා. පස්සේ ඕනේ ගුද මාර්ගයක් කියලා මේං දැම්මා. :D

    ReplyDelete
    Replies
    1. ඕක විසුරුවට කමක් නෑ ඩූඩ්... අපෙ පාර අයිති පළාත් සභාවනෙ. ඒකට බලය තියෙන නිසා ගැටලුවක් නෑ. ඒත් උන් කියන්නෙ උන්ට පාරවල් හදන්න සල්ලි නෑලු. ඒ උනාට මන්තිරියො රොත්තයි උන්ගෙ ස්ටාෆ් එකයි නඩත්තු කරන්න සල්ලි තියෙනවා. උන්ගෙ ලයිට් බිල පවා ගෙවන්නෙ අපෙන් ගන්න බදු සල්ලි වලින්. පළාත් සභාවට වැඩ කරන්න සල්ලි නැත්නම් මොකට ඕක තියන් ඉන්නවද දන්නෑ.

      Delete
  2. කොහොම හරි වැඩේ කෙරිච්ච එක ලොකු දෙයක්.
    කාපට්, අපෝ ඒව ගැනනං කතා කරල වැඩක් නෑ. අපේ පාර කාපට් දාල තියෙනව කාණු නෑ. වැස්ස දවසට පාර මැද්දෙන් යන්නෙ වතුර පාර. ඒ මදිවට දෙපැත්තෙන් කාපට් එක හෝදගෙන යනව.

    ReplyDelete
    Replies
    1. පිස්සු නං කෙලින්න එපා ප්‍රසන්න මල්ලි. ලෝබ කමෙත් සීමාවක් තියාගනිංකො. එක්කො කාපට්, නැත්නං කාණු. දෙකම දෙන්නේ කොහොමද? උඹලා ඉල්ලන්න ඇත්තෙ කාපට්.

      Delete
    2. කාපට් නැතත් කමක් නෑ කාණු තිබ්බනං. කොහොමත් අපේ හරියට එනකල් කැඩිල තිබ්බෙ නෑනෙ.

      Delete
    3. ඇත්තටම ප්‍රසන්න කාපට් නැතත් හරියට තාර දාලා කාණු තික නියම විදිහට නඩත්තු කරනවා නම් පාර ආරක්ෂා වෙනවා. කාණු නැති උනාම පාර මැද්දෙන් වතුර ගිහින් තමයි තාර ගැලවිලා යන්නෙ.

      Delete
  3. සුන්දර ගම්මානයකට හොද පාරක් ලැබුන ඒක සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩෝ... බලමුකො මේ පාරවත් අපිට පාර හදලා දේවිද නැත්නම් බොරුවට කිති කවයිද කියලා.....

      Delete
  4. සාමෙන් බැරිනම් ගේමෙන්...!
    එතකොට වැඩක් කරගන්න අන්තිමට අපිට ඉතුරු ටෙක්නික් එක මේකද?
    ඒ පැත්තෙන් බලපුවාම පට්ට අවුල්.හැබැයි පාරෙ වැඩේ ගොඩ දා ගත්ත එකත්,ඒ වැඩේට එකමුතු උන එකත් මල් මසුරං.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හුඟක් උන්ට සාමෙන් කිවුවට දැනෙන්නෙ නෑ ලබ්බෝ... හොඳ පොලු පාරක් දෙන්නම ඕනෙ ඔළුවට දැනෙන්න. ඇත්තටම මේ කරපු වැඩෙන් පාර හැදෙනවාටත් වඩා හොඳක් මං දකිනවා. මෙච්චර කාලයක් එක එක දේශපාලන පක්ෂ වලට බෙදිලා හිටපු උන් ටික ඒ සේරම අමතක කරලා එකට එකමුතු උන එක තමයි ලොකුම දේ.

      Delete
    2. අන්න හරි ඇට කළු ස්වීටි
      සාමෙන් බැරිනම් ගේමෙන්...! පොන්න පිකදු කිව්වලු
      ඔයාට විතරයි අනේ මෙයා රටේ ගේම් තේරෙන්නේ... හරිම ස්වීට් වෙරි ලොල්!!! අපිත් දයා සිරි වෙරි සොරි වෙනකම් බලාගෙන ඉන්නේ

      මේදවස් වල සුකර උන හැදුනු රට වීරයෝ කොල්ලන්ගේ අතපය කඩන්න බලාගේනලු ඉන්නේ එයාලට "ඉයස් සර් "කියන්නේ නැති පොඩි කොල්ලන්ගේ... අනේ ඔයාලා පරිස්සන්වෙන්න ඩියර් ලව් ශ්‍රීනා පරිස්සමෙන් මෙයා ඔයාට මෙයාලා පස්සේ අරින්න හදයි

      Delete
  5. ඔය ..........ලාට ඔය බාසාවෙන් තමා කතා කරන්න ඕනි. වැඩේ එළ ටිකට වෙනවානං සතුටුයි මචෝ. පසු විපරං කොරාපං ඈ...

    ReplyDelete
    Replies
    1. මේ පාරනම් කියපු විදිහට දැනිලා වගේ. වැඩේ ඉවර වෙනකම් පස්සෙන් එලවන්න වෙනවා.

      Delete
  6. මම ඔය පාරේ ගිහින් තියෙන්නේ එකම එක වතාවයි පහුගිය යුද්ද කාලේ හමුදා අවමගුලකට සහභාගිවන්න ගියේ. හරිම දුෂ්කර පාරක් නේද?

    සටන සංවිධානය කල අයට ස්තුතියි. හැමදාමත් ඔන්න ඔයවගේ සටන් ජයගන්න විදිහට වැඩ කරනවා නම්, මේ රටේ ඉන්න අමන දේශපාලුවෝ වඳ වෙනවා.

    ReplyDelete
    Replies
    1. හමුදා අවමගුල් කිහිපයක් තිබුණා පසුගිය කාලේ. දැන් නම් පාර හොඳටම අබලන්.
      චන්දෙ ගන්න විතරයි ඕකුන් එන්නෙ. ඊට පස්සෙ දන්නෙත් නෑ ගමට ආවෙත් නෑ කියනවා. දැන් සංවිධානය කරපු සෙට් එක උසාවි දන්න හදනවා.

      Delete
  7. පටං ගත්ත වෙලාවෙ ඉදන් එකා වගේ වැඩකලා නං දිනන එක අහන්නත් දෙයක් යැ..
    පොලිසිය ඉතිං ලංකාවෙ පොලිසය නේහ්
    ඒ ගැනත් කියවලම මොකක් හරි කියන්නංකො

    ReplyDelete
    Replies
    1. පොලිසියෙ වැඩ ඉතින් ලොකු තැන් වලට ඕනෙ විදිහටනෙ වෙන්නෙ... ඔන්න මේ වෙද්දි අපිව හන්දියට අරන් ගිය බස් දෙක ඇරස්ට් කරලා නඩු දාලා....

      Delete
  8. අහ්... වැඩේ කෙරුන එක ගැන නම් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. අද මං උදේ බස් එකේ එනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා. පාර හොඳට තියෙනවා නම් විනාඩි 20න් යන්න පුලුවන් ගමනට දැන් විනාඩි 45කට වැඩිය යනවා.

      Delete
  9. පාර හැදුවහම පෝස්ට් එකක් දාහං , අපි එන්නම් මොනාහරි ජුන්ඩක් කාල බීල යන්ඩ.
    ඕක හදල දෙනව කිවුවට පස්සෙත් අහවල් එකටද ජරාසිරිට හූ කිවුවෙ. හිමිජ්ජ වගේ ඉදගෙන උඹ තමයි ලීඩ් කරන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා සෙට් එකම එන්න්ඩෝ... කන්දත් නැගලා, වල් ඌරු මස් එක්ක මය්යොක්කා කෑල්ලක් කන ගමන් කිතුල් රා ටිකක් බොන්න පුලුවන්.....
      ඌට හූ කිව්වෙ හදලා දෙනවා කියන්න කලින්. ඌ හදලා දෙනවා කිව්වෙ නෑ. අපෙ ගමට චන්දෙ ඉල්ලන්න ආවෙ නෑ කිව්වා.
      අනේ මම ඕවට නෑ... තාම පොඩි එකා....

      Delete
  10. එකෙන්ම....වැඩේ ගැන අපේ සංතෙ‍ෝසේ!!
    අඩෝ මම මම මේකට ඇවිල්ලම නෑ නේද??

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රූපේ.....

      Delete
  11. හොඳයි මල්ලි කට්ටිය එකතු වෙලා අපේ මහා ඇමති තුමාට හු කියෙව්වනේ දැන් එක ලොකු වීර කමක්නේ ඔය තමන්ගේ පින්තුරෙත් දා ගෙන කියන්නේ අපි එන්නම් හමුවෙලා කතා කරගන්න හුවේ හඬ ගැන එතකොට ඔය කැමරාවෙන්ම තව පින්තුර අරගෙන මේකේ දාගන්නකෝ කල්යල් ඇතිව ඉන්නකෝ අපි එනකම්

    ReplyDelete

 
 
Blogger Templates