Pages

Sunday, June 21, 2015

සෙරෙප්පුද... සපත්තුද...?




සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියනවා වගේ අඳින ඇඳුමෙන් මිනිහෙක් ගැන මනින්න එපා කියලා කිව්වත් තාම මේ සමාජෙ සලකන්නෙ ඇඳන් ඉන්න ඇඳුම දිහා බලලා කියන එක නම් ඕනම කෙනෙකුට අත්දැකීම් ඇති.


බස් එකේ ගියත්, කඩේකට ගියත්, පන්සලට, පොලිසියට හරි අඩුම තරමෙ උසාවියට ගියත් ඇඳන් ඉන්න ඇඳුමත් එක්ක ලැබෙන සැලකීම වෙනස් වෙන හැටි දැක්කාම ඇඳුමකින් මොන තරම් වෙනසක් වෙනවද කියන එකත් වෙලාවකට පුදුමයි.

කමිසෙ උඩින් දාලා සෙරෙප්පු දෙකක් දාලා බස් එකට නැග්ගම මල්ලි කියලා කතා කරපු කොන්දොස්තරම ඊට පස්සෙ දවසෙ හොඳට ඇඳලා සපත්තු දෙකක් දාලා නැග්ගම ඒ කොන්දොස්තරම මහත්තයා කියලා කතාකරාම ඉතින් තනියම හිනා වෙවී යනවා ඇරෙන්න වෙන මොනා කරන්නද.

ඒ වගේම තමයි හෝටලේකට ගියත් එකම වේටර් සලකන්නෙත් දෙවිදිහකට. රෙදි කඩේකට යද්දි හොදට ඇදලා නොගියොත් ඊටත් අන්තයි. සාමාන්‍ය විදිහට ඇඳලා රෝහලකට ගියාම වැඩ කරන සුළු සේවකයො හරි හෙදියො හරි ගනන් ගන්නෙ නැති ලෙඩාම ඊට පස්සෙ දවසෙ අත් දිග ඇඳලා හොඳට ගියොත් එදාට වෙනස්ම සැලකිල්ලක් තියෙන්නෙ. ඔය හේතුව දන්න නිසාම අවේලාවෙ ලෙඩ්ඩු බලන්න කිහිප සැරයක්ම ගිහින් තියෙනවා කිසිම ගැටලුවක් නැතුවම.

මේ පෝස්ට් එක ලියන්න හිතුනේ මේ ලඟදි දවසක ලැබුණු අත්දැකීමක් නිසා. ඇඳන් ඉන්න ඇඳුමට ලැබෙන සැලකීම පැය දෙක තුනක් ඇතුලත ක්ෂණිකව වෙනස් වෙන හැටි හොඳටම දැනුනා මේ සිද්දියෙන්.

මගේ මිත්‍රයාගෙ සහෝදරියගේ විවාහ උත්සවයේ දෙවෙනි දවසට සහභාගී වෙන්න ගිහින් තමයි මේ අත්දැකීමට මුහුණ දුන්නේ. රාත්‍රී සාදයක් විදිහට තිබුණු උත්සවේ අරගත්තෙ මෑත කාලේ කොළඹ හදපු සුපිරි මට්ටමේ (තරු දෙකක වගේ) සැලකුම් ලබන හෝටලේක. ෆොටෝ ටික කලින් ගන්න ඕනෙ නිසා කැමරා උපකරණ ටිකත් අරගෙන කෝච්චියෙ යන නිසා ගමන් පහසුවට කමිසයක් හරි ටී ශර්ට් එකක් හරි උඩින් දාලා සෙරෙප්පු දෙකක් දාගෙන තමයි තුන් දෙනා ගියෙ. කොටුවෙන් බැහැලා ත්‍රීවීල් එකකින් හොටෙල් එකට ගිහින් බෑග් ටිකත් කරගහගෙන ප්‍රධාන දොර ඉස්සරහින් බහිද්දි එතන හිටපු Door Man, Front Office එකේ සෙට් එක, Lobby Manager එහෙම අපි දිහා බැලුවෙ අඟහරු ලෝකෙන් බැහැපු උන් දිහා බලනවා වගේ. අනේ ඉතින් අපිට දොර ඇරලා දුන්නෙ නැති නිසා අපිම ඇරගෙන ඇතුලට ගියාම Front Office එකේ හිටපු එකෙක් නැගිට්ටෙවත් නැතුව ඕනවට එපාවට ඇහුවා "ඇයි?" කියලා. අපි ආවෙ කපල් එකේ ෆෝටෝ ගන්න කියලා ඇහුවට පස්සෙ Lobby Manager ඇවිත් අපිව තුන්වෙනි තට්ටුවේ තිබුණ කාමර වෙන් කරන තැන තියෙන පොඩි Lobby එකට යවලා එතන පැත්තකින් වාඩි කරවලා තිබ්බා. අපි ඉතින් හේතුව දන්න නිසාත් ඒ වගේ හෝටලේක තියෙන ප්‍රතිපත්ති ගැන දන්න නිසාත් ඒ ගැන ගණන් නොගෙන කපල් එක ලැස්ති වෙලා එනකම් ඉඳලා ෆොටෝ ටික අරගෙන එහෙම ආපහු Lobby එකට ආවා.

ඔන්න දැනුයි කතාව වෙනස් වෙන්නෙ. Front Office එකෙන් කාමරයක් වෙන් කරන්න කතා කරද්දි කලින් ඕනවට එපාවට කතා කරපු එකාම ආපහු ඇස් දෙක උඩ තියාගෙන අමුතු විදිහට බැලුවෙ. ලේසි නෑ කාමරේක ගාණ රු.9000ක්. කාමරේට ගිහින් නාලා කරලා ඇඳුම් මාරු කරගෙන කොණ්ඩා පීරගෙන ආපහු පහලට එද්දි බලාපොරොත්තු උන විදිහටම.....

කලින් ඔයා මෙයා කියලා කතා කරපු මැන්ජරයා අපිට Sir කියලා කතා කරන්නයි, කලින් ඔළුව උස්සලා කතා කරපු නැති Front Officer දැන් නැගිටලාම කතා කරන්නයි, කලින් අපිම ඇරගෙන ආපු දොර Door Man ඇවිත් ඇරලා දෙන්නයි ගත්තාම ඒකට කොහොම කොහෙන් හිනා වෙන්නද මන්දා.......

පැය දෙක තුනක් ඇතුලත ඇඳුමක් (අත් දිග කමිසෙකුයි සපත්තු දෙකකුයි) නිසා මෙහෙමත් වෙනසක්....

**ඡායාරූපය ගූග්ල් වෙතින්....

13 comments:

  1. ඔයාගෙ බ්ලොග් එකට අ‍ාවෙ පළවෙනි පාරට. පරණ කතන්දර ටිකත් කියෙව්වා. ඡායාරූප ශිල්පියෙක් හැටියට ඔයාගෙ අත්දැකීම් ටිකක් ලියන්න. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියී දිල්ශාන්.... මේ ක්ෂේත්‍රය ඇතුලෙදි අත්දකින්න ලැබුණු දේවල් ගැන දිගටම ලියනවා.

      Delete
  2. මේ වගේ ගොන්පාට් තියෙන්නේ පෙරදිග රටවල විශේෂයෙන් දකුණු ආසියාතික රටවල හෝටල්වල විතරද මන්දා. හෝටලේ මැනේජ්මන්ට් එකේ එකෙකුට කතාකරලා දෙකක් කියලා අවනම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත විචාරක මහත්තයෝ... අපේ රටේ සමහර තරු පන්තියේ හෝටල් වල ගේට්ටුවෙන් ඇතුලට ත්‍රීවීල් එකකට ඇතුල් වෙන්නවත් දෙන්නෙ නෑ. සුද්දෙක් ආවත් බැහැලා පයින් යන්න ඕන. මං දැක්කා එක පාරක් සුද්දෙක් බනිනවා ආරක්ෂක නිලධාරියාට එහෙම කරනවා නම් ගේට්ටුව ලඟ ඉඳන් වාහන දාලා තියන්න කියලා. ඕක දන්න නිසා අපි එදා අරුන්ට මොකුත් කියන්න ගියේ නෑ. උන්ගෙ වැරැද්දක් නෑ. මහතැන් වලින් කියලා තියෙන විදිහනේ.

      Delete
  3. හැක්... ඕක මේ රටේ තියෙන ලොකු ලෙඩක් තමයි. සරමක් එහෙම ඇඳල ගියොත් ගණං ගන්න එකක්ම නෑ.
    සමහර වෙලාවට ඇඳුමෙන් මිනිස්සු මනින්න ගිහිල්ල විචාරක කියල තියෙනව වගේ හොඳට අහගන්න වෙලාවලුත් නැතුව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කඩේ අයිති කෙනාව හොයාගන්න බෑ ඇදන් ඉන්නෙ සරම කමිසෙ. වැඩ කරන අය හොදට ඇඳලා ඉන්නවා. ඉතින් ඇඳුමෙන් පුලුවන්ද මිනිස්සු හොයන්න. හැබැයි ඉතින් මන් නම් කියන්නෙ මොන ඇඳුම ඇන්දත් පිලිවෙලට අඳින්න ඕනෙ. සරම උනත් කමක් නෑ.

      Delete
  4. ඔබේ බ්ලොගට ආව පලවෙනි දිනය.මේ වගේ අත්දැකීම් තව තව ලියන්න.දිගටම ලියනවා නං රෝලෙත් එල්ලගන්නම්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඔබතුමාව... දිගටම ලියනවා... මේ සේරම කැමරාව උස්සගෙන යද්දි අත්දැකපුවා තමයි...

      Delete
  5. සිරාවටම ඕ වගේ ගොං පාට් එකක් නිසා මට ඉන්ෂුරන්ස් කම්පැනි එකක් එපාම වුණා...
    ඒ දවස් වල මම ටිකක් රැවුල වවල හිටියෙ අදින්නෙ ඩෙනිම් ටීෂ්ර්ට්... කෝම හරි වගේ වැඩේ කරගන්න මට පැයක් විතර රස්තියාදු වෙන්න වුණා හේතුව තමා අර වගේ සපත්තු දාල අද් දෙකටම ඇදල හිටපු ඩෑල් කීපයක් හන්ද...
    මං ආයෙ එතෙන්ට ගියෙත් නෑ මට ආපහු කතා කලාම වෙච්ච දයි අරවහයි ෙම්වයි කියන්න ඔ්න ඔක්කම කියල ආයෙ පැත්ෙත වත් එන්නෑ කියල කොල් එක කට් කලා මෙන්න මුං පහුවදා ගෙදරටම ඇවිල්ල සොරිය අරකය මේකය කියල බෑගිරියාව...
    උංට දැනෙන්නත් එක්ක හොදට සලකල හිටං මං කීව ඔයාල වගේ ගල් යුගේ මිනිස්සු එක්ක වැඩ කරන්න කමැත්තක් නැ කියල මගෙ ඉන්ෂ්රන්ස් එකත් කැන්සල් කරගෙන අයිංම වුණා
    අඩු ගානෙ ආයෙ ඒම නොකර හරි ඉිදියිනෙ

    ReplyDelete
    Replies
    1. කියන්නෙ නම් මේකෙ ඉන්න උන් ආගන්තුක සත්කාරයයට ලැදි අනිකට හොඳට සලකන උන් ඉන්න රටක් කියලා. එත්.........

      Delete
  6. ‘බැලුවේ ඔබ අද මා දිහා පට පිළි දවටා ආ නිසා‘ කියලා මිල්ටන් කිව්වෙ නිකංයැ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් බලයි........... කොතනත් වෙන්නෙ ඕක තමයි දැන්....

      Delete
  7. කොළඹ හදපු සුපිරි මට්ටමේ (තරු දෙකක වගේ) සැලකුම් ලබන හෝටලේක.

    අනේ අනේ හනි ! තරු 2 කේ හෝටල් කියන්නේ ඔය හන්දිවල තියන සෙන්ට්‍රල් හෝටලය වගේ ඒවානේ
    හොඳ හෝටලක් වෙන්න අඩුම තරමේ තරු 5 වත් තියෙන්න ඕනෙනේ දැන් තරු 7 ඒවත් තියනවානේ
    අඩුම ගානේ යෑම කෙසේ වෙතත් අහලවත් නැද්ද 5 ස්ටාර් හෝටල් ගැන ඔහොම ගියොත් ඔයත් බයියෙක් කියලා කියයි හැමෝම
    බායි මෙයා

    ReplyDelete

 
 
Blogger Templates