Pages

Thursday, July 9, 2015

කාර්ඩ් ක්‍රියාන්විතය....





කලින් පෝස්ට් එකේදි පොරොන්දු උනා වගේ ඔන්න තෑන්ක්ස් කාර්ඩ් ප්‍රින්ට් කරන්න කන කට්ට ගැන කියන්න යන්නෙ. මේ අවුරුදු හත අටට මේ අත්දැකීම් මට ඕනෙ තරම් තියෙනවා. මොකද මම ගෝලයෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා. මේ ක්ෂේත්‍රය ගැන පාඨමාලාවක් හදාරන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන් උනේ මගෙ මිත්‍රයාගෙ ගෝලයෙක් විදිහට හිටපු එකෙන්. ඒ කාලෙ ගැනත් ඉස්සහරට කියන්නම්. අදටත් මට නිදහස් වෙලාවට (මට වෙඩිමක් සෙට් වෙලා නැති දවසක හරි මගෙ රස්සාවෙ නිවාඩුවක් තිබුනොත් හරි) මිත්‍රයාගෙ වැඩක් තිබුනොත් උදවුවට යනවා. මිනිහා ගෝලයෙක් දෙන්නෙක් අරන් ගියත් මම ඉන්න එකෙන් තෑන්ක්ස් කාර්ඩ් එක ගොඩ දාගන්න පුළුවන් නිසා තාමත් ලැබ් එකට ගිහින් මේ කට්ට කන වෙලාවල් තියෙනවා.



මුලින්ම කියන්නම් තෑන්ක්ස් කාර්ඩ් ටික හදාගන්න සාමාන්‍ය ක්‍රමය කියලා ඉන්නම්. සාමාන්‍යයෙන් පෝරුවේ චාරිත්‍ර පටන් ගන්නෙ උදේ 9 පහු වෙලා නිසා මනමාලිවයි එයාගෙ පිරිවරයි උදේ 6 වෙනකොට අන්දවලා දෙන්න කියලා කියනවා. එතකොට උදේ 6.30 ට විතර කපල් එකයි පිරිවරයි ෆෝටෝස් ගන්න ලෝකේශන් එකට ගන්න පුළුවන්. ඊට පස්සෙ උවමනා කරන ෆොටෝ ටික අරගෙන උදේ 8 ට විතර වැඩේ හොඳට දන්න ගෝලයාට මෙමරි චිප් එක දීලා ලැබ් එකට යවලා හොටෙල් එකට යන වෙලාව එනකම් ඉතිරි ෆොටෝ ටික ගන්නවා.


ලැබ් එක අරිනකොට නම් 8.30 වගේ උනාට 8 වෙනකොට ලැබ් එකට යන්නෙ පරක්කු වෙලා ගියොත් කාර්ඩ් එක ඩිසයින් කරන්න පෝලිමේ ඉන්න වෙන නිසයි. මොකද නැකත් දවසට ලැබ් එකට තෑන්ක්ස් කාර්ඩ් විස්සකට වැඩිය ලැබෙනවා. ඉතින් 8 වෙනකොට ලැබ් එකට ගියොත් මුලින්ම නැත්නම් දෙවෙනියට හෝ තුන් වෙනියට වගේ කාර්ඩ් එක ඩිසයින් කරගන්න පුළුවන්. කාර්ඩ් එක ඩිසයින් කරලා ඉවර වෙද්දි ප්‍රින්ටර් මැශින් එක හීට් වෙලා, පේපර් ලෝඩ් කරලා ඉවර නම් ඔන්න සාම්පල් ප්‍රින්ට් එක දාගන්න පුළුවන්. එක ලැබුනට පස්සෙ කපල් එකේ ම් දෙක, දින, ෆෝන් නම්බර් හරිද, නියම පාට ඇවිල්ලද බලලා අඩු පාඩු හදාගෙන ඔන්න ප්‍රින්ට් එක දානවා. ඉතින් විනාඩි විස්සකින් තිහකින් විතර ප්‍රින්ට් එක කැපිලා එනකම් ලැබ් එකේ ඉන්න නංගිලා දිහා බල බල ඉන්නයි තියෙන්නෙ.


ඔය පිලිවෙලට වැඩේ කලාම උදේ 11 විතර වෙනකොට කාර්ඩ් ටිකත් ප්‍රින්ට් කරන් වෙඩිම තියෙන තැනට යන්නත් පුළුවන්. කෝ මුකුත් අමාරු තැනක් නෑනෙ හරි ලේසි වැඩේ නේද......?


ඔය කියපු විදිහටම වැඩේ කරන්න පුළුවන් නම් ලේසී තමයි. ඒත් මෙච්චර කාලෙකට ඔය පිලිවෙලට වැඩේ කරපු අවස්තා නම් එක අතක ඇඟිලි ගානටත් අඩුයි. දැන් බලනවා ඇති ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියලා. එහෙම වෙන්නෙ ඔය වැඩේ කියනකොට හරි සරලයි වගේ පෙනුනට කරන වෙලාවට එන බාධක කෙලවරක් නැති නිසා. ඒවට මුහුණ දීලා යන්තම් වැඩේ ගොඩ දාගෙන කාර්ඩ් ටික අරන් යනකොට මංගල සභාවත් පටන් අරගෙන සමහර දවස් වලට.


දැන් මොනාද මේ බාධක....?


  • මනමාලිව උදේ 6 වෙද්දි අන්දවලා දෙන්න කිවුවාම බොහොමයක් දවස් වලට කපල් එක ලොකේශන් එකට එනකොට 7 ත් 8 ත් අතර වෙලා. 8.30 වෙන දවස් පවා තියෙනවා.
  • ලැබ් එකට යන වෙලාව පරක්කු වෙනකොට කාර්ඩ් හදාගන්න එන පිරිස වැඩි වෙනවා. 9 ට විතර යනකොට කාර්ඩ් 6ක් 7ක් ඩිසයින් කරනකම් ඉන්න වෙනවා අපේ එක ඩිසයින් කර ගන්න.
  • ලැබ් එකේ ඩිසයින් කරන්න ඩිසයිනර්ස්ලා හතර දෙනෙක් හිටියත් අපිට හුරු එතනින් ඉන්න සුපිරි බුලට් දෙකට තමයි හදන්න දෙන්නෙ. ඒ එකෙක් වැඩට එනකොට 10 විතර වෙන නිසා උදේම එන අනික් කෙනාට කාර්ඩ් එක ඩිසයින් කරන්න දෙනවා. අපි ලැබ් එකට යන වෙලාව 8.30 පහු උනොත් නම් ඒ ඩිසයිනර් ලග ඒ වෙනකොට කාර්ඩ් 6ක් විතර තියෙනවා පෝලිමේ.
  • බැරි වෙලාවත් උන් දෙන්න නිවාඩු නම් අනික් ඉන්න අළුත් කෙනා ලඟට වෙලා කිය කිය හදවා ගන්න ඕනෙ. ඒත් එහෙම දවසට අපි 8 වෙද්දි ලැබ් එකෙ ඉන්න වෙනවා. නැත්නම් ඉතින් අපි යනකොට ලැබ් එකට එන සේරම කාර්ඩ් හදන්න දීලා තියෙන්නෙ ඉන්න එකම ඩිසයිනර්ට.
  • ලැබ් එකෙන් ඩිසයින් කරන්න බැරි තරමට පෝලිම නම් පිට ඉන්න ඩිසයිනර් කෙනෙකුට කියලා හදවන් එන්න දුවන්න ඕනෙ. අපි කාර්ඩ් එක හදන්න දඟලනවට වඩා නිතරම කාර්ඩ් හදන කෙනෙක්ට දෙන එක හොඳම දේ නිසයි එහෙම කරන්නෙ.
  • 8 ට ඇවිත් කාර්ඩ් එක මුලින්ම හදාගෙන හිටියත් ප්‍රින්ටර් මැශින් වැඩ කරන උන් ඇවිත් නැත්නම් ඉන්න වෙනවා උන් එනකම්.
  • ප්‍රින්ටර් එක රෙඩි වෙලා නැත්නම් ඒත් ඉන්න වෙනවා හීට් කරලා, පේපර් ලෝඩ් කරනකම්.
  • 8 ට ඇවිත් දෙවෙනියට හෝ තුන් වෙනියට සාම්පල් ප්‍රින්ට් එක දාගෙන අඩු පාඩු හදාගෙන ප්‍රින්ට් එක දාන්න යනකොට කලින් එක දාලා නම් එතන කාර්ඩ් 100ක් හෝ 200ක් විතර (වැඩි වෙන්නත් පුළුවන්) කැපෙනකම් ඉන්නත් ඕනෙ. ඒ කාර්ඩ් එකේ සයිස් එක වැඩී නම් තවත් වෙලා යනවා.
  • 8 ට එන්න බැරි වෙලා 9 ට විතර ආවොත් හය වෙනියට විතර කාර්ඩ් එක ඩිසයින් කරගෙන ඉවර වෙද්දි 10.30 විතර වෙනවා. එතකොට සාම්පල් එක දාන්න නම් කලින් කැපෙන්න දාපු කාර්ඩ් දෙතුන් සීයක් කැපෙනකම් ඉන්න ඕනෙ. ඊට පස්සෙ අඩු පාඩු හදලා ප්‍රින්ට් එක දාන්න ආයෙත් කාර්ඩ් තුන් හාරසීයක් කැපෙනකම් ඉන්න ඕනෙ. වැඩේ ඉවර වෙද්දි දවල් 12 ත් පහු වෙනවා.
  • එක ප්‍රින්ටර් මැශින් එකක් වැඩ නැත්නම් සේරම ප්‍රින්ට් දාන්න වෙන්නෙ ඉතිරි මැශින් එකෙන්. එතකොට ඔය කියපු වෙලාවල් තව දික් වෙනවා.
  • හදිසියේවත් විදුලිය විසන්දි වෙන වෙලාවට ජෙනරේටර් එක දාන්න එනකම් ඉන්නත් ඕනෙ.
  • ප්‍රින්ට් යන අතර මැද්දෙදි පේපර් ඉවරයි නම් ආපහු පේපර් ලෝඩ් වෙනකම් පැය බාගෙකට වැඩිය ඉන්නත් ඕනෙ.


ඔය සේරම අපි නිතරම යන ලැබ් එකේ වෙන දේවල්. ලැබ් එකත් එක්ක තියෙන සමීප සම්බන්දතාව නිසා ටිකක් ඉක්මනට වැඩේ ගොඩ දාගන්න පුළුවන් නිසා පොඩි වාසියකුත් තියෙනවා. මේ වගේම පිට පළාතක වෙඩිමක් සෙට් උනොත්..?


  • දැන් නම් ගොඩක් පැති වල ලැබ් තියෙන නිසා ගැටළුව ටිකක් අඩුයි. ඒත් ඉස්සර ලැබ් එකක් හොයාගෙන යන්න ඕනෙ. එක පාරක් බකමූණෙ තිබුනු වෙඩිමක ෆොටෝ ගත්තෙ දඹුල්ලෙදි. කාර්ඩ් ටික හදන්න මාතලේ ලැබ් එකකට ගෝලයා යැවුවා බස් එකේ. කාර්ඩ් ටික එනකොට මංගල සභාවත් ඉවර වෙන්න ලඟයි. මනමාලයා හොඳ නිසා ගුටි නොකා අවා.
  • තව සමහර ලැබ් වල ප්‍රින්ට් වල ගුණාත්මක බව අඩුයි. එහෙම තැනකට ගියොත් ඉතින් සාම්පල් දාලා දාලා බලනකොට සෑහෙන කාලයක් අපතේ.
  • මේ ලඟදි බත්තරමුල්ලෙ ලැබ් එකකට යනකොට ඒක වහලා. ඒ ලගම එකත් වහලා. නුගේගොඩට යද්දි එහෙ ලැබ් දෙකක් වහලා. එතනින් මහරගමට යනකොට එතනත් එක ලැබ් එකක් වහලා. යන්තම් ඊට එහා පැත්තෙ එකෙන් කාර්ඩ් ටික ප්‍රින්ට් කලේ.



ඉතින් ඔන්න ඔය වගේ අටෝරාසියක් බාධක වලට මුහුණ දීලා කාර්ඩ් ටික ප්‍රින්ට් කරනකොට දවල් 12 පහු වෙන එක අනිවාර්ය දෙයක්. ඉතින් කාර්ඩ් ටික අරන් එනකම් අපි පපුවෙ අමාරුව හදාගන්නෙ නැතුව ඉන්න එකත් ලොකු දෙයක්.



ඔන්න ඕවා තමයි කවුරුත් ආසාවෙන් අතට අරන් බලන, අඩු පාඩු කියලා ෆොටෝ ගහන්න උගන්වන්න එන තෑන්ක්ස් කාර්ඩ් එක ප්‍රින්ට් කරන් එන්න යන එකා විඳින දුක........

14 comments:

  1. මචෝ බැයිද කාඩ් එක බොලාටම ඩිසයින් කරන්න... ඒ කිව්වෙ දැං ගෝලයො දෙන්නෙක් නැත්තං තුන්දෙනෙක් ඉන්ව නෙ එතකොට දෙන්නෙක් වැඩේට යොදවනව මනෙ කෝමත් එක්කෙනෙක් නෙ චප් එක ඇරං යන්නෙ ඉතිං ඒ වැඩේ කරන කෙනෙට බැයිද ඩිසයින් කරන්න...
    මෙහෙ ස්ටුටියෝ එකක් තියේ උං නං මට මතක විදියට ඩිසයින් කරලමයි ඇරං යන්නෙ ඒ කිව්වෙ ඔය තියෙනව වගේ කාඩ් එක හදාගෙන(ඒකට නේද ඩිසයින් කියන්නෙ ) හැබැයි ඒකෙන් වැඩේ ලේසි වෙනව නේ

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න පුළුවන්නම් හොදයි මචෝ. එකෙන් අපිට ඔනෙ විදිහටම හදාගන්නත් පුළුවන්, අනික ඩිසයින් කරනවට (ඕකට කියන්නෙ ක්‍රියේශන් කරනව කියලනෙ ලැබ් එකේදි) දෙන අමතර මුදලත් ඉතිරි වෙනවා. ඒත් අපි නිතරම කාර්ඩ් හදන කෙනෙකුටම දෙන්නෙ වෙන අරමුණකින්. අපි නිතරම කරන්නෙ ෆොටෝස් හදන එකයි, ඇල්බම් පේජ් හදන එකයි. කාර්ඩ් එකක් හදන්න වෙන්නෙ වෙඩින් එකකදි විතරයි. ඒත් ලැබ් වල ඉන්න අය හැමදාම වගේ කාර්ඩ් හදන නිසා ඒකටම හුරු වෙලා ඉන්නෙ. ඉතින් එහෙම කෙනෙක් හදන කාර්ඩ් එකක් අපි හදන කාර්ඩ් එකට වඩා නිර්මාණාත්මක බව වැඩී. කාර්ඩ් එකක් ඩිසයින් කරන එකයි ඇල්බම් පේජ් එකක් ඩිසයින් කරන එකයි පොඩි වෙනස් කම් තියෙනවා ඉතින් අපි හුරු වෙලා ඉන්න විදිහට කාර්ඩ් එකක් හදන්න ගත වෙන වෙලාවට වඩා අඩු වෙලාවකින් ලැබ් එකෙන් ඩිසයින් කරගන්න පුළුවන්. ඔය වාසි නිසයි ලැබ් එකකටම යන්නෙ. වියදම් වෙන මුදලට වඩා වැඩේ ලස්සන බලන්න ඕනනෙ.

      Delete
    2. මම අහන්න හිතුව ප්‍රශ්නේ තමයි මහේෂ් අහලා තියෙන්නේ. කම්මැලි නැතුව ෆොටෝෂොප් ටිකක් ඉගෙනගත්ත හොඳ ගෝලයෙක් තියාගෙන ලැප් එකකින් ඔයවැඩේ කරගන්න අමාරු ඇයි?

      ෆෝමැට් ටිකක් හදලා ලැපේම තියාගත්තම අලුතෙන් ගන්න පින්තූර අර ෆෝමැට් වලට ඔබන්න විතරනේ වෙන්නේ.

      නරක ක්‍රමය:- ලැබ් එකක එකෙක් අල්ලාගෙන ඌට ගානක් දීලා හරි ඩිසයින් ෆෝමැට් ටිකක් ලැප් එකට දමාගැනීම.

      හමුදාවේ අපි යමක් ඉෂ්ඨ කරගන්න ක්‍රම තුනක් පාවිච්චි කරනවා. beg, borrow, steal.
      ඔන්න කොරනවානම් වැඩ.

      Delete
    3. ඕලට උත්තරේ යට ප්‍රසන්නගෙ කමෙන්ට් එකඅට දීලා තියෙනවා විචාරක මහත්තයෝ. උදේ තියෙන කලබල ගතියත් එක්ක තියෙන කෙටි කාලයත් එක්ක වැඩ කරන්න වෙලා තියෙන නිසා ලැබ් එකේ ඉන්න ඩිසයිනට කියලා හදවාගන්න එක හොඳයි. ඒකට දෙන රු.250 ට ඒ සිද්ද වෙන සේවය ඉහටත් උඩින්. ඒක ඒ වගේ වෙලාවක කරලම බලන්න ඕනෙ. ඇත්තටම අපි කලබලෙන් හදාගෙන යන එකට වැඩිය ඒ හදවාගන්න එක ලස්සනයි කියන එක අත්දැකීමෙන් දන්නවා.

      Delete
  2. මිට පස්සේ වෙඩිමක කැමරමන්ලා එක්ක මිට වඩා සුහදව කතා බහ කරනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. වෙඩිමකදි කපල් එකේ නෑදෑයන්ගෙන් වැඩිපුරම බැනුම් අහන්නෙ අපි බං. අන්දන උන් කොඉතරම් පරක්කු කරලා අන්දලා දුම්මත් අවුලක් නෑ. ඒත් උදේට හොටෙල් එකට එන්න පරක්කු උනාම බනින්නෙ අපිට. දවල්ට ගෲප් ෆොටෝ ගන්න කියලා පෝලිමේ කට්ටිය එවන්නෙ කපල් එකමයි. ඒත් සභාව පටන් ගන්න පරක්කු වෙනවා කියලා බනින්නෙත් අපිට. ඒ අස්සෙ ෆොටෝ ගන්න උගන්නන උනුත් ඉන්නවා. තව කැමරාව දැක්කාම බොරුවට ෆොටෝ ගන්න එන උනුත් ඉන්නවා. කන්නත් වෙලාවක් නැතුව වැඩ. වෙනම පෝස්ට් එකකින් කියන්නම්කො විඳින දුක.

      Delete
  3. මේ පැත්තෙ ලැබ් වලනං තියෙන්නෙ එක ප්‍රින්ටර් එකයි කොහොමත්. ඉතිං ඒකට කෙලඋනොත් නං සොරිම තමයි.
    මාත් මේක කියෝගෙන එනකොට කියන්න හිතාගෙන ආවෙ මහේෂ් කියල තියෙනව වගේ බොලාටම ලැප් එකකින් හරි ඕක ඩිසයින් කරගෙන ලැබ් එකට ගෙනිච්චනං ලේසිනෙ කියන්න.
    ලැබ් වල ඉන්න එව්වො කලින් හදාගෙන ඉන්න ටෙම්ප්ලේට් වලට ෆොටෝ ටික දාල නෙමෙයිද ඕව හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලැබ් වල ඉන්න එව්වො ලේසියට ටෙම්ප්ලේට් වලට දාලා හදනවා නම් තමයි. ඒත් ඉතින් අපි දැන ගන්න ඕනෙ ටෙම්ප්ලේට් එකකට නොදා අපිට ඕනෙ විදිහත් කියලා ඩිසයින් කර ගන්න. ඒකට ඉතින් ඩිසයින් කරන කෙනත් එක්ක හොඳ සම්බන්දතාවක් තියා ගන්න ඕනෙ. ඇත්තටම අපි ඒ වෙලාවෙ තියෙන කලබලෙත් එක්ක ඕක ඩිසයින් කරලා ඇරන් යනකොට ලැබ් එකේ තියෙන කාර්ඩ් පෝලිමත් එක්ක ඔට්ටු වෙනවට වැඩිය ලේසී එතෙන්ට ගිහින් කරගන්න එක. අත්දැකීමෙන් කියන්නෙ අපි හදිස්සියෙ හදාගෙන යන එකට වැඩිය ලැබ් එකේ පුරුදු කෙනාගෙන් හදවන කාර්ඩ් එක ඇත්තටම ලස්සනයි.

      Delete
    2. ඉතින් තමන් ලඟ ඒ ඒ අවස්තාවට ගැලපෙන template collection එකක් තියාගත්තාම ලේසි නැද්ද?

      Delete
    3. ලේසී නම් තමයි. ඒත් ඒ වෙලාවෙ තියෙන හදිස්සියත් එක්ක අපිට ලැබිලා තියෙන පොඩි වෙලාවත් එක්ක කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ලැබ් එකට දුවන එක. ගොඩක් වෙලාවට අපි නගරයෙන් පිට ගිහින් තමයි ඉන්නෙ. ඉතින් ඒ වගෙ වෙලාවට ලැබ් එකට එන්න සහ ආපහු යන්න යන කාලයත් බලන්න ඕනෙ.

      Delete
  4. අයියෝ සංසාරේ... මේ කන කට්ටෙ හැටියට, අයකරන ගාන තවත් අඩුකරන්න කියනකොට දෙන්න හැතෙන්නැද්ද බං කැමරාවෙන්ම මූණ නිකං ෆෝ ආර් වෙලා යන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට නම් ඉතින් කියන්න හිතෙන ඒවා කියන්න ඕනෙ නෑනෙ බං. සමහර අය කියන කතා වලට හිතෙන්නෙ කැමරාවෙන් නිකන්ම ෆොටෝ වැදිලා කම්පියුටරෙන් නිකන්ම එඩිට් වෙලා එනවා කියලා.

      Delete
  5. මම ආසම ඔය තෑන්ක්ස් කාර්ඩ් වලට.ආයේ කවදාවත්ම දකින්න බැරිවිදිහට මනමාලයයි මනමාලියි ලස්සනට දකින්න පුළුවන් .වෙඩින් එකේදී ඉන්නවටත් වඩා ලස්සනට :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... ලප කැලැල් මකලා පාට කරලා ගත්තාම කොහොමද...? මටම උනා ඔහොම වැඩක්. උදේ ඉදන් ෆොටෝ ගත්තු මනමාලිව හවස අඳුනා ගන්න බැරි උනා මටම... :D

      Delete

 
 
Blogger Templates