Pages

Wednesday, April 8, 2015

කැමරාවට වඳින්න ඕනෙද....?






මගේ පළවෙනි පෝස්ට් එකේ තිබුණු කමෙන්ට් එකක් දැක්කට පස්සෙ මේ පෝස්ට් එක ලියන්න හිතුනා. ඒකෙන් කියලා තිබුණා අපි හම්බකරන් කන උපකරණ වලට වැන්දෙ ගල් යුගේ හිටපු මිනිස්සු කියලා. මට හිතෙන්නෙ නම් මම ඒ ලිපියෙන් කියපු අදහස ඔහු හරියට තේරුම් අරන් නෑ කියලයි. කැමරාව පහන් පැලක තියලා මල් පහන් පූජා කරන්න වත් ඒකට වැඳ වැඳ ඉන්න කියලවත් කියලා නෑ. අනික් දේ තමයි කැමරාව ඒ විදිහට ගෙනියන එක හොඳ නෑ කියලා මිසක් කාටවත් බල කරලා නෑ ගෙනියන්න ඕනෙ විදිහ ගැන.


මම කියලා තියෙන්නෙ තමන්ට ජීවත් වෙන්න උදවු කරන දේවල් වලට ගරු කරන්න පරිස්සම් කරන්න තරම් මනුස්සකමක් අපි ලඟ තියෙන්න ඕනෙ කියන දේ.




කැමරාව හෝ මේ ක්ෂේත්‍රයට අදාල අනෙකුත් උපකරණ පරිස්සම් නොකිරීමෙන් ඇති විය හැකි හානි කිහිපයක් කියන්න කැමතියි. 

-  කැමරාව වැස්සට තෙමුනොත් ලොකු හානියක් වෙන්න පුලුවන්.
-  කැමරාව රඳවා ගැනීමට තියෙන පටියෙන් නිවැරදිව රඳවා නොගැනීම නිසා බිම වැටුනොත් අභ්‍යන්තර සියුම් කොටස් වලට හානි වෙනවා.
-  කැමරාවෙ කාචය දිගින් වැඩි නිසා එහෙ මෙහෙ වදින්න පුලුවන්. එහෙම තදින් වැදුනොත් නභිගත (Focus)  වීමේ දුර්වලතා එන්න පුලුවන්.
-  නිතරම දූවිල්ලට ලක් වීම නිසා කාචය සීරුමාරු කිරීම, දර්පණ (Mirror) තල නිවැරදිව වැඩ නොකරන්න පුලුවන්.

-  තෙතමනය ඉවත් නොකර තැබුවොත් කාචය මත පුස් බැඳෙන්න, අභ්‍යන්තර කොටස් මළ කන්න පුලුවන්.

-  සෙනග ගොඩක් ඉන්න තැනකදි මේසයක් මත හෝ ත්‍රිපාදිකය (Tripod) මත අනාරක්ෂිතව කැමරාව තිබිලා කවුරු හරි හැප්පුනොත් බිම වැටිල හානි වෙන්න පුලුවන්.

-  කැමරාව අතේ තියාගෙන ආහාර ගන්නකොට දියර වර්ග, තෙල් සහිත ආහාර කැමරාවට වැටෙන්න පුලුවන්.


මේ කිහිපයක් විතරයි.


ඒ වගේම,


-  පිටපත් කරන්න කලින් මතක පත (Memory Chip) නැති වෙලා හරි වැඩ කරන්නෙ නැතුව ගියොත් හරි වෙන හානිය නැවත හදාගන්න පුලුවන් වෙන්නෙ නම් නෑ.

-  පරිස්සම් නොකරපු කැමරාවක් හදිස්සියේ හරි මංගල උත්සවයක් අතර මැද්දෙ ක්‍රියා විරහිත වුනොත්, ඒ වෙලාවට වෙන කැමරාවක් ලඟ නැත්නම් මොකද වෙන්නෙ?
-  කැමරාව අතේ තියාගෙන අනාරක්ෂිත ලෙස ගමන් කරද්දි අනතුරක් වෙන්නත් පුලුවන්. එක රක් කැමරා දෙකක් එක්ක ඡායාරූප ශිල්පියෙක් පිහිනුම් තටාකයට වැටුනා.
-  සමහර විට ක්ෂණිකාලෝක (Flash Lights) හදිසියේ ක්‍රියා විරහිත වෙන්න පුලුවන්. අඳුරු වෙලාවක නම්?


මෙවැනි දේවල් සිදුවෙනවා අපි දැකලා තියෙනවා. මෙවැනි උදාහණ ඡායාරූප ශිල්පීන් ලඟ ඕනෙ තරම් ඇති.



අද කාලෙ කැමරාවක් කියන්නෙ ඉහල තාක්ෂණයකින් යුක්ත අධි සංවේදී උපකරණයක්. මොන තරම් පරිස්සම් කලත් කොයි මොහොතේ හෝ ක්‍රියා විරහිත වෙන්න පුලුවන්. ඉතින් ලෙඩක් හැදෙන්න කලින් පරිස්සම් වෙන එක හොඳයි වගේ කැඩෙන්න කලින් බේරා ගන්න උත්සහ කිරීම නම් වටිනවා. සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ කැමරාවක් රු.100000 ට වඩා වැඩි මිලකින් යුක්ත වෙනවා. ඉතින් තමන් භාවිතා කරන කැමරාව කැඩුනොත් වෙන එකක් හදිසියෙ ගන්න වත්කමක් නැත්නම් මොකද වෙන්නෙ කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. කැමරා දෙකක් හරි වැඩි ගණනක් හරි අරන් තියාගන්න තරම් වත්කමක් හැමෝම ලඟ නැති නිසා තමන්ට තියෙන උපකරණ ටික පරිස්සම් කරන එක හොඳයි නේද...?




මම අත්දැකපු කාරණා දෙකක් කියන්න කැමතියි.


එක මංගල උත්සවයක දෙවෙනි දවසේ ෆොටෝ ගන්න වෙලාවෙ ආපු වීඩියෝ කරන මහත්මයා අතේ තිබුණු කැමරාව හදිසියෙම වැඩ කරන්නෙ නැතුව ගියා. වීඩියෝ එක ටේප් එකේ සටහන් වෙන්නෙ නැති දෝශයක් තමයි ආවෙ. බොහෝ විට එහෙම වෙන්නෙ Writing head එකට දූවිල්ලෙන් හානි වෙලා නම්. ඒ වෙද්දි ඒ කැමරාවෙ දාර වල දූවිල්ල තට්ටු බැඳිලා, ඇණ මළ කාලා, දර්ශණ තලය නිවැරදිව වැඩ කරන්නෙ නැතුව තිබුනෙ. ඒ විදිහට හරි ඒක වැඩ කරපු එක නම් පුදුමයක්. ඉතින් ඔහු ඒ වෙලාවෙ මගෙ උදව්වට හිටපු කෙනෙක් එක්ක බයික් එකේ ගියා වෙන කැමරා එකක් අරන් එන්නම් කියලා. අපි ෆොටෝ ටික අරන් මනාල මහත්මයාගෙ ගෙදරට ගිහින් තේ මේසෙට වාඩි උනාටත් පස්සෙ තමයි අර මහත්මයා ආවෙ පොඩි කැම්කෝර්ඩර් එකකුත් අරන්. ඉතින් ආපහු නෑදෑයො ටිකත් එක්ක මනාල ජෝඩුව පාරට එක්ක ගිහින් ගෙදර එන ටික, පිලිගැනීම, පහන පත්තු කරන එක ආපහු වීඩියෝ කලා. මනාල මහත්මයාගේ බුද්ධිමත් බව සහ ගෙදර අයගේ හිත හොඳ කම නිසා ගැටලුවක් උනේ නැතත් එලෙස ඉවසීමක් නැති පිරිසක් ඉන්න තැනක නම්...?



ඒ වගේම මගේ හිතවත්ම ඡායාරූප ශිල්පියා (මේ ක්ෂේත්‍රය තුලට එන්න මට උදව් කලේ ඔහු. මම ඔහුව හඳුන්වන්නේ මගේම සහෝදරයා කියල) මේ ලඟදි ගත්තු කැමරාවෙ මිල රු.525000 ක් වෙනවා. ඒ මුදල ඔහු හොයා ගත්තෙ තමන් ජීවත් වන නිවස බැංකුවට උකස් කරලා. ඉතින් ඔහු ඒ කැමරාව පරිස්සම් කරන්න පුදුම උත්සහයක් ගන්නෙ. ඔහුට ඒක තමන්ගේ දරුවෙක් වගේ. අතේ තියාගෙන ඉන්නෙ නැති වෙලාවට බෑග් එකට දාලා ඒ බෑග් එකත් ආරක්ෂා සහිත තැනකින් තමයි තියන්නෙ. වෙනම ණය මුදලක් අරන් රු.17000ක් වෙන බෑග් එකක් ගත්තා ඒ කැමරාව වෙනුවෙන්ම. ඇයි ඔහු ඒ තරම් කැමරාව පරිස්සම් කරන්නෙ? ඔහු දන්නවා තමන්ගෙ වගේම බිරිඳගෙත් දරු දෙන්නාගෙත් අනාගතය රැඳිලා තියෙන්නෙ කැමරාව මත කියලා.



ඉතින් මොන ක්ෂේත්‍රයේ මොන රැකියාවක නිරත වුවත් තමන්ට උදව් වන උපකරණ වලට ගරු කිරීම, පරිස්සම් කිරීම හොඳ ගුණාංගයක් නොවෙයිද.....?


**ඡායාරූපය ගූග්ල් වෙතින්.

20 comments:

  1. කැමරාව ආරක්ෂා කරගන්න හැටි කොච්චර දැනගෙන හිටියත් වරදින වෙලාවල් තියනවා. මේ ලඟදි මගේ කැමරාවය වතුර ටිකක් වැටිලා ඉක්මනින්ම ඉවත් කරගත් නිසා බේරුණා. නමුත් 100% ක් තෙතමනය ඉවත්වුනාද කියලා සහතික කරන්න අමාරුයි. ඊට පස්සෙත් අද වෙනතුරු හොඳට වැඩ කරනවා.

    වෘත්තීය මට්ටමේ හොඳ කැමරාවක් ගැනීමේ සිහිනය තවම හිතේ තියනවා. සල්ලි තමයි නැත්තේ. :D

    ReplyDelete
    Replies
    1. ගුරුන්ටත් අකුරු වරදින වෙලාවල් තියෙනවාලුනෙ.... :D

      සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....

      Delete
    2. විචාරක මහත්තයෝ කැමරාවට වතුර වැටුනා නම් හොදම වැඩේ තමයි සිලිකා ජෙල් පැකට් කිහිපයක් එක්ක වියලි ප්ලාස්ටික් පෙට්ටියක දාලා තියන්න. සිලිකා ජෙල් පැකට් රත් කර කර වාර කිහිපයක් තිබ්බා නම් හරි.

      Delete
  2. මල කෙලියයි මම ඉතිං පරිස්සන් කරන්නෙ මොකක්ද? මම මහන්නේ බ්‍රා.
    විහිලුවක් කරේ දිගටම එනවා..
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අම්මෝ... එහෙනම් පරිස්සම් කරන්න දේවල් ගොඩක් ඇති කිව්වෙ නැතුවට......

      Delete
  3. මොන දේ වුනත් තමන් පරිහරණය කරන දේවල් ගෞරවයෙන් රැකගැනීම නම් යුතුකමක් .

    ReplyDelete
    Replies
    1. පණ නැති දේවල් උනත් අපිට ජීවත් වෙන්න උදව් වෙන එකට ගරු කරන එක ගොඩක් වටිනවා. ඒකෙන් හොඳක් මිස නරකක් වෙන්නෙ නෑනෙ.
      හොඳට පරිස්සම් කරන වාහනයක් කවදාවත් අපිව මහ මග අතරමං කරන්නේ නෑ කියන එක අත්දැකීමෙන්ම අපි දන්නවා.

      Delete
  4. ඕනවට වඩා පරිස්සමත් ඈලියාවට යන වෙලාවල් තියෙනව.

    ReplyDelete
    Replies
    1. පරිස්සම් කලාට ඕනවට වඩා හුරතල් කරන්න හොඳ නෑ...... :D

      Delete
  5. ආදරයෙන් රැකගන්න භාන්ඩෙ පරිස්සම් කරගන්න එක යුතුකමක්.. ඕනෑම භාන්ඩේකට ඕක අදාලයි...

    ReplyDelete
    Replies
    1. ගෙදර තියෙන වටිනම භාණ්ඩෙද සජ්ජෝ......?
      ඒත් ඉතින් ඒ භාණ්ඩෙ කොයි වෙලේ එහා මෙහා වෙයිද කියන එකයි අවුල.... :D

      Delete
  6. ඒ උනාට ඉතින් මේ හැමදේම ලියන කරන කොම්පීතර් රාජයා අපි කොච්චර පරිස්සම් කරනවද? ඒ, ඒක අපිට වටින හන්දා.. ඕනම දේක වටිනකම දන්න මනුස්සයා ඒක පරිස්සම් කරනවා..

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හම්බකරගත්තු දේවල් අපිට වටිනවනේ........

      Delete
  7. ඉලෙක්ට්‍රොනික් උපකරණ යොදාගන්නවානම් ප්ලෑන් බී එකක් අනිවාර්යයෙන්ම යොදාගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අනිවා.. මේවා කොයි වෙලේ නතර වෙයිද දන් නෑ... හදිසියේ හරි කැඩුනොත් ඒ වෙනුවට මොකක් හරි පිලියමක් ලඟ තියෙන්න ඕනෙ....

      Delete
  8. ඒකගයි කතාවට...... ඒක අපේ මනුස්සකම ගැන කතාවක්... හැබැයි ඒ නිසා ම ඒ දේවල් අාරක්ෂා වෙලා අපිට ම උදව්වක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒ දේවල් ආරක්ෂා කරනවට ඒ දේවල් අපිට ආපහු උදවු කරනවා...

      Delete
  9. මගෙ ළඟ ගෝලයෙක් හිටියා මචං උදේම සයිට් එකට ගිහින් ටී.එස් (එනම් මිනුම් උපකරණය ) එක බොක්ස් එකෙන් එලියට ගන්න කලින් වඳිනවා.ඒක දැකපුවාම මචං මාර ෆිට් එකකින් වැඩ කරන්න හිතෙනවා.හවසට බොක්ස් එකට දාලා වැඳලා ලොක් කරන්නෙ.එතකොට ඔෆිස් එකට ඇවිල්ල දූවිලි පිහල සත්කාර කරන එක මගෙ අතින් වෙන්නෙ නිරායාසයෙන්ම.
    භෞතික වගේම ආධ්‍යාත්මික බැඳීමකුත් ඇති වෙනවා හම්බකරන් බොන/කන උපකරණත් එක්ක.

    ReplyDelete
    Replies
    1. එහෙම උන්ට තමන් කරන රැකියාවෙන් වරදින්න තියෙන ඉඩ අඩුයි....

      Delete
  10. ඔයා කියන දේ ඇත්තම ඇත්ත, මමත් එකඟයි

    ReplyDelete

 
 
Blogger Templates